රට තැනිතලා ප්‍රදේශයටයි. මෙම කොටස වැඩි වශයෙන් අයත් වූයේ වැව් බැඳි රාජ්‍යයටයි.
කන්ද උඩරට රාජධානිය පාලනය කළ 7 වන රජු වූ I වන විමලධර්මසූරිය රජුගේ පාලන සමයේ දී, ශ්‍රී ලංකාව තුළ වූ අවශේෂ රාජධානි බිඳ වැටීම හේතුවෙන් කන්ද උඩරට රාජධානිය පාලනය කල පාලකයා ශ්‍රී ලංකාවෙහි සම්මත සම්ප්‍රදාය අනුව මුළු දිවයිනේම පාලකයා බවට පත්විය.
කන්ද උඩ රාජධානියට අයත්ව තිබූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සියලුම වරායන් ලන්දේසින් අතට පත් වීම හේතුවෙන් රාජධානියෙහි වෙළඳාම සම්පූර්ණයෙන්ම ලන්දේසින් යටතට පත්විම, මෙකල කන්ද උඩරට රාජධානිය ලැබූ ප්‍රධානම පරාජයයි.
අතීතයේ රටේ මහරජුට සිටියේ අගනුවර ආරක්‍ෂා කරන හමුදා පිරිසක් හා රජුගේ ජීවිතාරක්‍ෂක හමුදා පිරිසක් පමණි. විදේශාක්‍රමණයක් සිදු වූ වහාම ගමරාලවරුන් කෝරලවරුන් ආදී ප්‍රාදේශීය නායකයන් දේශප්‍රේමී ජනසේනා පිරිවරාගෙන කෝරල කොඩි රැගෙන රට රැකීම සඳහා ඉදිරියට ඒම ජාතික සම්ප්‍රදාය විය.
මහවැව් හා යෝධ ඇළවල් තැනීමේදී රජු රාජකාරි මට්‌ටමින් රටවැසියන් සේවයට කැඳවුවද ගම් මට්‌ටමේ, පත්තු මට්‌ටමේ හා කෝරල මට්‌ටමේ කුඩා හා මධ්‍යම ප්‍රමාණ වැව් ඇළවේලි තනා ඒවා නඩත්තු කරන ලද්දේ ප්‍රාදේශීය ජනනායකයන්ගේ මෙහෙයවීමෙන් ගම්සභා ආදී වශයෙන් වූ ප්‍රාදේශීය ජනතා සංවිධානවල සහභාගිත්වයෙනි. ගම කුඩාම ප්‍රාදේශීය බලප්‍රදේශය වූ අතර දසගම් (පත්තු) නමින් හැඳින්වෙන බලප්‍රදේශ රුහුණු මාගම්පත්තු, පානම්පත්තු, උඩුගහපත්තු, ඊච්චලම්පත්තු, ගිරුවාපත්තු, හිනිදුම්පත්තු ආදී වශයෙන් විවිධාකාර විය. සිංහල වන්නි නායකවරුන් මෙන්ම මෑත අතීතයේ උතුරු වන්නියේ දෙමළ වන්නියාර්වරු ද වූහ. යාපනය, මන්නාරම හා මඩකලපුව පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට යටත් වෙද්දී වන්නියාර්වරුන් ප්‍රමුඛ උතුරු වන්නිකරයේ ජනතාව යටත් නොවූහ.
ශ්‍රී ලංකාවට පැමිණි පළමු යුරෝපා ජාතිය වන්නේ පෘතුගීසීන් ය. 1505 දී පෘතුගීසි ජාතික ලොරෙන්සෝ ද අල්මේදා ගේ පැමිණීම සිදු වී ඇති අතර ඒ වන විට රාජධානි කිහිපයකට බෙදී වෙන් වී තිබූ දිවයිනට එම ආක්‍රමණිකයන් පළවා හැරීමට තිබූ අවස්ථා සීමිත විය. ඔවුන් විසින් 1517 දී කොළඹ වරායට ආසන්නව බලකොටුවක් ඉදි කරනු ලැබූ අතර අනතුරුව කෙමෙන් කෙමෙන් වෙරළබඩ ප්‍රදේශ කරා බලය ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇත. 1592 වසර වන විට සිංහලයන් සිය අගනුවර ලෙස රට මධ්‍යයේ වූ මහනුවර නගරයට රාජධානිය රැගෙන ගෙන ගිය අතර එය සතුරු ආක්‍රමණ වලට හොඳින් මුහුණ දිය හැකි ආරක්ෂිත ප්‍රදේශයක් විය. 16 වන සියවස පුරාවටම විවිධ සටන් දෙපාර්ශවය අතර පැවතී ඇත.
පෘතුගීසීන්ගේ ධර්මදූත ව්‍යාපාර හේතුවෙන් පහතරට සිංහලයන් බොහෝ දෙනෙක් ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට යොමු වූ අතර එමඟින් බෞද්ධ ජනයා තුළ පෘතුගීසින්ගේ වර්ධනයට හා එහි බලපෑම් වලට තිබූ අකමැත්ත වඩාත් තීව්‍ර විය. එහි ප්‍රතිඵලය වූයේ පෘතුගීසීන්ගෙන් රට බේරා ගැනීමට හැකි ඕනෑම පිරිසක් සමඟ හිතවත් වීමට ඔවුන් පසුබට නොවීමයි.
1602 දී ලන්දේසි කපිතාන් ජොරිස් වෑන් ස්පිල්බර්ජන් දිවයිනට පැමිණි අවස්ථාවේ දී උඩරට රජු ඔහුගෙන් උදව් ඉල්ලා සිටීම මගින් ඒ බව තහවුරු වේ.
මහනුවර රජකම් කළ දෙවෙනි රාජසිංහ රජු (1635-1687) විසින් 1638 දී වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ පෘතුගීසීන් රටින් පන්නා දැමීම සඳහා ලන්දේසීන් සමඟ ගිවිසුමකට එළඹී ඇත. එහි ප්‍රධානම කොන්දේසිය වී ඇත්තේ ලන්දේසීන් විසින් අත්පත් කර ගන්නා වෙරළබඩ ප්‍රදේශ උඩරට රජුට භාර දී ඒ වෙනුවෙන් දිවයින පුරා ලන්දේසි වෙළඳ ඒකාධිකාරයක් සඳහා ඉඩකඩ ලබා දීමයි. නමුත් එම එකඟතාව දෙපාර්ශවය විසින්ම කඩ කිරීමට ලක් කර ඇත. ලන්දේසීන් විසින් 1656 දී කොළඹ හා 1658 දී යාපනය අත්පත් කරගනිමින් පෘතුගීසීන් සම්පූර්ණයෙන් ම රටින් පන්නා දැමුණු අතර 1660 වන විට ගොඩබිමට සීමා වූ මහනුවර රාජධානිය හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සියල්ලම ලන්දේසීන් යටතට පත් වීම සිදු විය. රෙපරමාදු භක්තිකයන් වූ ඔවුන් විසින් කතෝලික භක්තිකයින් හට සහ පෘතුගීසි පදිංචිකරුවන් හට හිංසා කරනු ලැබ ඇත. එමෙන්ම පෘතුගීසීන්ට වඩා ඔවුහු ජනතාවගෙන් අධික බදු මුදලක් අය කළ බවද සඳහන් වේ.
පෘතුගීසී පාලන සමයේ දී කෝණප්පු බණ්ඩාර විසින් සූක්ෂ්මව මෙහෙයවූ සටන් වලින් අනතුරුව මහනුවර රාජධානිය ශක්තිමත් වූ අතර ඔහු පළමු විමලධර්මසූරිය (1591-1604) නමින් රජකමට පත් විය.
මහනුවර රාජධානිය ආරම්භ වූ කාලයේ සිට අවසන් කාලය දක්වා ම පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන ජාතීන් වලට විරුද්ධ ව සටන් කර තිබේ. මෙහි අගනුවර වූ සෙංකඩගල නගරයේ සුවිශේෂී පිහිටීම හේතුවෙන් 19 වන සියවස තෙක්ම විදේශීය ආක්‍රමණ වලට හොඳින් මුහුණ දීම සඳහා අවශ්‍ය ශක්තිය ගොඩ නැගී තිබුණි.
මහනුවර රාජධානියේ අවසන් රජවරුන් දකුණු ඉන්දියානු සම්භවයක් සහිත නායක්කාර් වංශිකයන් වූ අතර අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ (1798-1815) කාලයේ දී ඇති වූ අභ්‍යන්තර ගැටළු හේතුවෙන් රාජධානිය පිරිහීමට ලක් විය. එයින් අනතුරුව 1815 දී උඩරට ගිවිසුම නමින් උඩරට රදලයින් හා ඉංග්‍රීසීන් අතර ඇති කරගත් එකඟතාවයට අනුව සමස්ත දිවයින ම විදේශීය පාලනයට නතු වීම සිදු විය.
එය වසර 2300 ක් පැවති සිංහල රාජවංශයේ අවසානය යි.
බ්‍රිතාන්‍ය පාලනයට දිවයින නතු වීමෙන් වසර තුනක් ඉක්ම යන්නටත් මත්තෙන් ඒ කෙරෙහි කලකිරුණු උඩරට නායකයින් විසින් 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ආරම්භ කළහ. ආරම්භයේ දී සාර්ථක බවක් පෙන්නුම් කළ ද බ්‍රිතාන්‍ය යුධ බලය හමුවේ එය අසාර්ථක විය. ඉන් අනතුරුව නැවත වරක් 1848 දී මාතලේ කැරැල්ල සිදු වූ අතර එය ද අසාර්ථක වූ නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය පාලනය දේශීය ජනයාගේ ඉල්ලීම් කිහිපයකට සාධනීය පිළිතුරු ලබා දීම සඳහා පෙළඹී තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ දී තේ, කෝපි හා රබර් වගාව, මහාමාර්ග හා දුම්රිය මාර්ග සංවර්ධනය සහ රෝහල් පිහිටුවීම වැනි රටට වැදගත් අංශ කිහිපයක් ම ආරම්භ කිරීම ද සිදු විය.
බෝග වගාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ආසියාවේ ධනවත් රටවල් වලින් එකක් විය. තේ වගා කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් බ්‍රිතාන්‍ය ඉන්දියාවේ සිට දෙමළ ජාතික ජනතාව විශාල වශයෙන් කම්කරුවන් ලෙස රැගෙන ආ අතර එය ඒ වන විට දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ වල සිටි දෙමළ ජනයාට සහ දෙමළ භාෂාව මව්බස ලෙස යොදා ගන්නා මුස්ලිම් ජනයාට එකතුවක් විය. එබැවින් සිංහල සහ දෙමළ භාෂා අතර සබැඳි භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා වන්නට විය.
20 වන සියවසේ මුල් භාගයේ දී සිදු වූ විවිධ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස 1948.02.04 දින පටන් බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමට ශ්‍රී ලංකාවට හැකි විය. එය මෙතෙක් පැවති සන්නද්ධ සටන් වලට වඩා වෙනස් දේශපාලනික වශයෙන් ලැබූ ජයග්‍රහණයකි.
දෙවන ලෝක යුද්ධයට ශ්‍රී ලංකාව ඍජුව ම සම්බන්ධ නොවුවත් බ්‍රිතාන්‍යයන් විසින් ජපානයට එරෙහි පළමු පෙළ යුධ කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය හෙයින් ජපානය විසින් කොළඹ නගරය ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාර එල්ල කර තිබේ. තව ද ත්‍රීකුණාමල වරාය ඉන්දියන් සාගරයේ බ්‍රිතාන්‍ය යුධ කටයුතු සඳහා උපායමාර්ගික වශයෙන් වැදගත් කඳවුරක් ලෙස 1948 වන තෙක් ම භාවිතා විය.