home design according to vaastu


ඉපැරණි පාලන ක්‍රමයන් ගෙන් ඈත්ව විනාශකාරී පාලනයට නතුවූ ප්‍රෞඩ ජාතියක ගමන් මඟ.

පහත සඳහන් ආකාරයට රාජධානි පැවති බව සඳහන් වේ.

තම්බපණ්ණි රාජධානිය

(ක්‍රිපූ 543– ක්‍රිපූ 505)

උපතිස්ස නුවර රාජධානිය

(ක්‍රිපූ 505– ක්‍රිපූ 377)

අනුරාධපුර රාජධානිය

(ක්‍රිපූ 377 – ක්‍රිව1017)

පොළොන්නරුව රාජධානිය

(BC1056–1236)

දඹදෙණිය රාජධානිය

(1236–1272)

ගම්පොළ රාජධානිය

(1345–1408)

කෝට්ටේ රාජධානිය

(1408–1535)

සීතාවක රාජධානිය

(1521–1593)

මහනුවර රාජධානිය

(1590–1815)

ක්‍රි. පූ. 4 වන සියවසේ දී රජකම් කළ පණ්ඩුකාභය රජු අනුරාධපුර රාජධානියේ පළමු ශ්‍රී ලාංකීය පාලකයා ලෙස සැලකේ.

පසුව එළැඹුණු සියවස් වල දී සිදු වූ චෝල ආක්‍රමණ හමු වේ දිවයින වරින් වර කුඩා රාජධානි වලට බෙදී වෙන් වී යාම් සහ නැවත එක්සේසත් වීම් ද සිදු විය. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ශ්‍රී ලංකාව රජවරුන් හා රැජිණියන් 181 දෙනෙකු විසින් පාලනය කර තිබේ. එමෙන්ම 16 වන සියවසේ පටන් රටේ ඇතැම් වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යන අධිරාජ්‍යයන් යටතේ පැවතුණි.

යාපනය රාජධානිය (1215-1624) ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ යාපනය අර්ධද්වීපය වටා කේන්ද්‍ර වෙමින් බිහි වූ යාපනය රාජධානිය ආර්ය චක්‍රවර්තී රාජ වංශය ලෙස ද හැඳින්වේ 1258 දී දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට කප්පම් ගෙවන යටත් විජිතයක් වශයෙන් යාපනය රාජධානිය පැවති ඇති අතර 1323 දී ඉන් නිදහස ලබා ස්වාධීන වී තිබේ. 14 වන සියවසේ මුල් භාගයේ දී උපරිම ලෙස බලවත් වීමට යාපනය අධිරාජ්‍යයට හැකි වූ අතර ඒ එකල පැවති සියළු ප්‍රාදේශීය පාලන ප්‍රදේශ යාපනය සිය ප්‍රධාන රාජධානිය ලෙස පිළිගැනීම හේතුවෙන් ය.

1450 දී කෝට්ටේ රාජධානියේ රජකළ හයවන පරාක්‍රමබාහු රජුගේ උපදෙස් පරිදි සපුමල් කුමරු විසින් යාපනය රාජධානිය යටත් කරගන්නා ලදී.

පුරාණ බෙදීම් අනුව ලංකාව රුහුණු , පිහිටි ,මායා, වශයෙන් තුන් හෙළයයි. එය කෙටියෙන් හඳුන්වන ලද්දේ ත්‍රිසිංහලය ලෙසිනි.

රුහුණු රට

ප්‍රදේශය සීමා වූයේ මහවැලි ගඟින් බටහිරටත් කළුගඟින් බටහිරටත් වෙන් වූ කොටසය.

මෙහි ප්‍රධාන නගර ලෙසින් තිරිකුණාමලය, ගෝණගම, මහනුවර, මහියංගණය, බදුල්ල, මාගම, කතරගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි සිව්සාළිස්රටක් වශයෙන් හඳුන්වා දී තිබිණි. එම සිව්සාළිස්රට මෙසේ දක්වා ඇත. 1. කොත්මලය 2. මතුරට 3. ගොඩරට 4. පස්ගොමුව 5. සගම 6. කටුපුළුව 7. වේරනිම්බය 8. සොරබොර 9. කොටසර 10. ඌව 11. බදුල්ල 12. රිටිගල් දනව්ව 13. දෙගල්දනව්ව 14. කොක්කාගල 15. මාවටු රට 16. මැවැලිදනව්ව 17. කළුවැලිදනව්ව 18. කිණිහිරි රට 19. මාගම 20. මීවෙල් දනව්ව 21. එරා උළුරට 22. මිණිගල්රට 23. රුහුණුගල්රට 24. දිගාමඬුල්ල 25. මල්වතූ මඬුල්ල 26. ගල්බෝ රට 27. කොටගල 28. සබරගොමුව 29. පිටිගම 30. කඩරට 31. ඇඹලව 32. සඳගිරිය 33. සීවය 34. ගිරිවාය 35. මාගල් මඬුල්ල 36. කුඹුක්ගං දනව්ව 37. වැලිගම 38. දහස්ගව්ව 39. දොළොස්දහස්රට 40. උග්ගල්රට 41. නඳුන්ගල් රට 42. සපුගල්රට 43. බද රට 44. මාතොට දෙව්නුවර ආදී වශයෙන්ය. මේ ප්‍රදේශ පාලනය සඳහා ද එදා ඈපාවරු හා මාපාවරු පත්කර සිටි අතර රජු මුළු රටේම ප්‍රධානියා විය. භූමියේ භාරකරුවා වූයේ මහරජුය. එය ඉර හඳ පවතිනා තුරු සත්‍යයක් ලෙස සෙල් පුවරුවල කොටා ප්‍රකාශයට පත්කර තිබිණි.

මායා රට

මායා රට ප්‍රමාණයෙන් කුඩා වූ අතර එය දැදුරුඔයේ බටහිර හා කළුගඟේ නැගෙනහිර මිටියාවතේ විහිද තිබිණි

රටවල් 29 ක් වූ බව සඳහන් වේ. එහි ප්‍රධාන ස්ථාන ලෙසින් මහණුවම්තොට. මාදම්පේ, කටුගස්තොට, කළුතර, කැලණිය, හස්ති ශෛලපුර, ශුභපර්වත යනාදිය සඳහන් වේ. රට විසි නවය අතරට 1. සිදුරුවාණය 2. බළවිට 3. මාතලේ 4. බෝගම්බර 5. දුම්බර 6. මායාදුනුරට 7. සඳපාන්දුනුරට 8. පාලම්ගොමුව 9. කුඹුරුගොමුව 10. අටකලන්ද 11. මානියම්ගොමුව 12. දෙණවක 13. කළුගල්ල 14. නවයොදුන්රට 15. පස්යොදුන්රට 16. පානබුනුරට 17. කැළණිදෙගංබඩ 18. අත්තනගල්ල 19. කුරුරට 20. පිටිගල්රට 21. දඹදෙණිය (මෙය පසුකාලීනව සිංහල රාජ්‍ය බවට පත්විය. ඒ ක්‍රි.ව. 1220 සිට 1276 දක්වාය). 22. බෙලිගල්රට 23. දෙලනමැද වෙලාන 24. දේවමැදිරට 25. කුරුණෑගල 26. ගල්බඩරට (විල්ලිගෙදර) 27. මිණිසරුව 28. තාරවින්න 29. මාදුරය ආදිය ගැනිණ.

පිහිටි රට

රට තැනිතලා ප්‍රදේශයටයි. මෙම කොටස වැඩි වශයෙන් අයත් වූයේ වැව් බැඳි රාජ්‍යයටයි.

පිහිටිරටේ එදා තිබූ එක්සාළිස්රට මෙසේ දක්වා ඇත. 1. අමන්දරට 2. ඇළසර රට 3. උඩුගොඩ 4. අස්ගිරිය 5. සිරියාල 6. මහගුළුරට 7. සුළුගලුරට 8. කඩියාව 9. පොළොන්නරුව 10. පූඩාව 11. කොට්ටපිටිය 12. මංගලම්රට 13. කලා රට 14. සලාවල් රට 15. කෑලි රට 16. මාවටුව 17. මන්නාරම 18. කරඹ වලාන 19. නෙල්ලිවලාන 20 මහගල්ගමුව 21. දහස්තොට 22. දඹු නුවර 23. තඹගොමුව 24. වඩුන්නාගල 25. පළුවක්රට 26. කෝකාලය 27. පදීරට 28. මෝරුරට 29. කුරුඳු රට 30. මානාවතුරට 31. වැලිගම 32. මරිච්චිය 33. බලතඩිය 34. මුංඩවල්ලිය 35. කණුකිනියාව 36. ගල්තලය 37. මින්නේරිය 38 කවුඩුළු රට 39. වෙල්ගම්රට 40. ගෝණාවතුරට 41. අනුරාධපුර රට. මෙම එක් සාළිස්රට පාලනය සඳහා එම යුගයේ ඈපාවරුන් හා මාපාවරුන් සිට ඇත..

පුරාණ යුගයේ රට බෙදා තිබුණු පිළිවෙළ ගැන හෝ එබඳු කොටස්පාලනය කළ ආකාරය ගැන හෝ මෙතෙක් ලැබී ඇත්තේ තොරතුරු ස්වල්පයක් පමණකි. එසේවුවද 8 වැනි සියවසේසිට 12 වැනි සියවස දක්වා කාලය එනම් මධ්‍යතන යුගයේ පාලනය කරන ලද ආකාරය පිළිබඳ තොරතුරු රාශියක් (ක්‍රි. ව. 1187 - 1196 ) කාලයේ රජකළ නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද ටැම් ලිපියක "තුන් හෙළය" (රුහුණු, පිහිටි, මායා) ගැන සඳහන් වේ.

පොළොන්නරු යුගයෙන් පසු මෙම පාලන ක්‍රමය වෙනස් වූ බවක් පෙනේ.

පොළොන්නරු යුගයෙන් පසු රාජධානි වූයේ

දඹදෙණිය

(1236–1272)

ගම්පොළ රාජධානිය

(1345–1408)

කෝට්ටේ රාජධානිය

(1408–1535)

(1521 දී කෝට්ටේ රජ කළ VI විජයබාහු රජුගේ ඝාතනයෙන් පසුව කෝට්ටේ රාජධානිය ) 15 වන සියවසේ මුල් භාගයේ සිට 16 වන සියවසේ අග භාගය දක්වා මධ්‍යම ශ්‍රී ලංකාව කෝට්ටේ රජවරුන් විසින් පාලනය කරන ලදී. ඉන්පසු කෝට්ටේ රාජධානිය පහත සඳහන් ලෙසය .කොටස්වලට බෙදී යන ලදී.

රයිගම

සීතාවක රාජධානිය (1521–1593)

මහනුවර රාජධානිය (1590–1815).

කන්ද උඩරට රාජධානිය පාලනය කළ 7 වන රජු වූ I වන විමලධර්මසූරිය රජුගේ පාලන සමයේ දී, ශ්‍රී ලංකාව තුළ වූ අවශේෂ රාජධානි බිඳ වැටීම හේතුවෙන් කන්ද උඩරට රාජධානිය පාලනය කල පාලකයා ශ්‍රී ලංකාවෙහි සම්මත සම්ප්‍රදාය අනුව මුළු දිවයිනේම පාලකයා බවට පත්විය.

 කන්ද උඩ රාජධානියට අයත්ව තිබූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සියලුම වරායන් ලන්දේසින්  අතට පත් වීම හේතුවෙන් රාජධානියෙහි වෙළඳාම සම්පූර්ණයෙන්ම ලන්දේසින් යටතට පත්විම, මෙකල කන්ද උඩරට රාජධානිය ලැබූ ප්‍රධානම පරාජයයි.

අතීතයේ රටේ මහරජුට සිටියේ අගනුවර ආරක්‍ෂා කරන හමුදා පිරිසක්‌ හා රජුගේ ජීවිතාරක්‍ෂක හමුදා පිරිසක්‌ පමණි. විදේශාක්‍රමණයක්‌ සිදු වූ වහාම ගමරාලවරුන් කෝරලවරුන් ආදී ප්‍රාදේශීය නායකයන් දේශප්‍රේමී ජනසේනා පිරිවරාගෙන කෝරල කොඩි රැගෙන රට රැකීම සඳහා ඉදිරියට ඒම ජාතික සම්ප්‍රදාය විය.

මහවැව් හා යෝධ ඇළවල් තැනීමේදී රජු රාජකාරි මට්‌ටමින් රටවැසියන් සේවයට කැඳවුවද ගම් මට්‌ටමේ, පත්තු මට්‌ටමේ හා කෝරල මට්‌ටමේ කුඩා හා මධ්‍යම ප්‍රමාණ වැව් ඇළවේලි තනා ඒවා නඩත්තු කරන ලද්දේ ප්‍රාදේශීය ජනනායකයන්ගේ මෙහෙයවීමෙන් ගම්සභා ආදී වශයෙන් වූ ප්‍රාදේශීය ජනතා සංවිධානවල සහභාගිත්වයෙනි. ගම කුඩාම ප්‍රාදේශීය බලප්‍රදේශය වූ අතර දසගම් (පත්තු) නමින් හැඳින්වෙන බලප්‍රදේශ රුහුණු මාගම්පත්තු, පානම්පත්තු, උඩුගහපත්තු, ඊච්චලම්පත්තු, ගිරුවාපත්තු, හිනිදුම්පත්තු ආදී වශයෙන් විවිධාකාර විය. සිංහල වන්නි නායකවරුන් මෙන්ම මෑත අතීතයේ උතුරු වන්නියේ දෙමළ වන්නියාර්වරු ද වූහ. යාපනය, මන්නාරම හා මඩකලපුව පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට යටත් වෙද්දී වන්නියාර්වරුන් ප්‍රමුඛ උතුරු වන්නිකරයේ ජනතාව යටත් නොවූහ.

පෘතුගීසි මැදිහත් වීම (1505–1594)

                                         ශ්‍රී ලංකාවට පැමිණි පළමු යුරෝපා ජාතිය වන්නේ පෘතුගීසීන් ය. 1505 දී පෘතුගීසි ජාතික ලොරෙන්සෝ ද අල්මේදා ගේ පැමිණීම සිදු වී ඇති අතර ඒ වන විට රාජධානි කිහිපයකට බෙදී වෙන් වී තිබූ දිවයිනට එම ආක්‍රමණිකයන් පළවා හැරීමට තිබූ අවස්ථා සීමිත විය. ඔවුන් විසින් 1517 දී කොළඹ වරායට ආසන්නව බලකොටුවක් ඉදි කරනු ලැබූ අතර අනතුරුව කෙමෙන් කෙමෙන් වෙරළබඩ ප්‍රදේශ කරා බලය ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇත. 1592 වසර වන විට සිංහලයන් සිය අගනුවර ලෙස රට මධ්‍යයේ වූ මහනුවර නගරයට රාජධානිය රැගෙන ගෙන ගිය අතර එය සතුරු ආක්‍රමණ වලට හොඳින් මුහුණ දිය හැකි ආරක්ෂිත ප්‍රදේශයක් විය. 16 වන සියවස පුරාවටම විවිධ සටන් දෙපාර්ශවය අතර පැවතී ඇත.

පෘතුගීසීන්ගේ ධර්මදූත ව්‍යාපාර හේතුවෙන් පහතරට සිංහලයන් බොහෝ දෙනෙක් ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට යොමු වූ අතර එමඟින් බෞද්ධ ජනයා තුළ පෘතුගීසින්ගේ වර්ධනයට හා එහි බලපෑම් වලට තිබූ අකමැත්ත වඩාත් තීව්‍ර විය. එහි ප්‍රතිඵලය වූයේ පෘතුගීසීන්ගෙන් රට බේරා ගැනීමට හැකි ඕනෑම පිරිසක් සමඟ හිතවත් වීමට ඔවුන් පසුබට නොවීමයි.

ලන්දේසි මැදිහත් වීම  1602

                                        1602 දී ලන්දේසි කපිතාන් ජොරිස් වෑන් ස්පිල්බර්ජන් දිවයිනට පැමිණි අවස්ථාවේ දී උඩරට රජු ඔහුගෙන් උදව් ඉල්ලා සිටීම මගින් ඒ බව තහවුරු වේ.

මහනුවර රජකම් කළ දෙවෙනි රාජසිංහ රජු (1635-1687) විසින් 1638 දී වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ පෘතුගීසීන් රටින් පන්නා දැමීම සඳහා ලන්දේසීන් සමඟ ගිවිසුමකට එළඹී ඇත. එහි ප්‍රධානම කොන්දේසිය වී ඇත්තේ ලන්දේසීන් විසින් අත්පත් කර ගන්නා වෙරළබඩ ප්‍රදේශ උඩරට රජුට භාර දී ඒ වෙනුවෙන් දිවයින පුරා ලන්දේසි වෙළඳ ඒකාධිකාරයක් සඳහා ඉඩකඩ ලබා දීමයි. නමුත් එම එකඟතාව දෙපාර්ශවය විසින්ම කඩ කිරීමට ලක් කර ඇත. ලන්දේසීන් විසින් 1656 දී කොළඹ හා 1658 දී යාපනය අත්පත් කරගනිමින් පෘතුගීසීන් සම්පූර්ණයෙන් ම රටින් පන්නා දැමුණු අතර 1660 වන විට ගොඩබිමට සීමා වූ මහනුවර රාජධානිය හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සියල්ලම ලන්දේසීන් යටතට පත් වීම සිදු විය. රෙපරමාදු භක්තිකයන් වූ ඔවුන් විසින් කතෝලික භක්තිකයින් හට සහ පෘතුගීසි පදිංචිකරුවන් හට හිංසා කරනු ලැබ ඇත. එමෙන්ම පෘතුගීසීන්ට වඩා ඔවුහු ජනතාවගෙන් අධික බදු මුදලක් අය කළ බවද සඳහන් වේ.

මහනුවර යුගය (1594–1815)

                                       පෘතුගීසී පාලන සමයේ දී කෝණප්පු බණ්ඩාර විසින් සූක්ෂ්මව මෙහෙයවූ සටන් වලින් අනතුරුව මහනුවර රාජධානිය ශක්තිමත් වූ අතර ඔහු පළමු විමලධර්මසූරිය (1591-1604) නමින් රජකමට පත් විය.

මහනුවර රාජධානිය ආරම්භ වූ කාලයේ සිට අවසන් කාලය දක්වා ම පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන ජාතීන් වලට විරුද්ධ ව සටන් කර තිබේ. මෙහි අගනුවර වූ සෙංකඩගල නගරයේ සුවිශේෂී පිහිටීම හේතුවෙන් 19 වන සියවස තෙක්ම විදේශීය ආක්‍රමණ වලට හොඳින් මුහුණ දීම සඳහා අවශ්‍ය ශක්තිය ගොඩ නැගී තිබුණි.

මහනුවර රාජධානියේ අවසන් රජවරුන් දකුණු ඉන්දියානු සම්භවයක් සහිත නායක්කාර් වංශිකයන් වූ අතර අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ (1798-1815) කාලයේ දී ඇති වූ අභ්‍යන්තර ගැටළු හේතුවෙන් රාජධානිය පිරිහීමට ලක් විය. එයින් අනතුරුව 1815 දී උඩරට ගිවිසුම නමින් උඩරට රදලයින් හා ඉංග්‍රීසීන් අතර ඇති කරගත් එකඟතාවයට අනුව සමස්ත දිවයින ම විදේශීය පාලනයට නතු වීම සිදු විය.

 එය වසර 2300 ක් පැවති සිංහල රාජවංශයේ අවසානය යි.

 

යටත් විජිත ශ්‍රී ලංකාව (1815–1948)

බ්‍රිතාන්‍ය පාලනයට දිවයින නතු වීමෙන් වසර තුනක් ඉක්ම යන්නටත් මත්තෙන් ඒ කෙරෙහි කලකිරුණු උඩරට නායකයින් විසින් 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ආරම්භ කළහ. ආරම්භයේ දී සාර්ථක බවක් පෙන්නුම් කළ ද බ්‍රිතාන්‍ය යුධ බලය හමුවේ එය අසාර්ථක විය. ඉන් අනතුරුව නැවත වරක් 1848 දී මාතලේ කැරැල්ල සිදු වූ අතර එය ද අසාර්ථක වූ නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය පාලනය දේශීය ජනයාගේ ඉල්ලීම් කිහිපයකට සාධනීය පිළිතුරු ලබා දීම සඳහා පෙළඹී තිබේ.

බ්‍රිතාන්‍ය පාලන සමයේ දී තේ, කෝපි හා රබර් වගාව, මහාමාර්ග හා දුම්රිය මාර්ග සංවර්ධනය සහ රෝහල් පිහිටුවීම වැනි රටට වැදගත් අංශ කිහිපයක් ම ආරම්භ කිරීම ද සිදු විය.

බෝග වගාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ආසියාවේ ධනවත් රටවල් වලින් එකක් විය. තේ වගා කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් බ්‍රිතාන්‍ය ඉන්දියාවේ සිට දෙමළ ජාතික ජනතාව විශාල වශයෙන් කම්කරුවන් ලෙස රැගෙන ආ අතර එය ඒ වන විට දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ වල සිටි දෙමළ ජනයාට සහ දෙමළ භාෂාව මව්බස ලෙස යොදා ගන්නා මුස්ලිම් ජනයාට එකතුවක් විය. එබැවින් සිංහල සහ දෙමළ භාෂා අතර සබැඳි භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා වන්නට විය.

20 වන සියවසේ මුල් භාගයේ දී සිදු වූ විවිධ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස 1948.02.04 දින පටන් බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමට ශ්‍රී ලංකාවට හැකි විය. එය මෙතෙක් පැවති සන්නද්ධ සටන් වලට වඩා වෙනස් දේශපාලනික වශයෙන් ලැබූ ජයග්‍රහණයකි.

දෙවන ලෝක යුද්ධයට ශ්‍රී ලංකාව ඍජුව ම සම්බන්ධ නොවුවත් බ්‍රිතාන්‍යයන් විසින් ජපානයට එරෙහි පළමු පෙළ යුධ කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය හෙයින් ජපානය විසින් කොළඹ නගරය ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාර එල්ල කර තිබේ. තව ද ත්‍රීකුණාමල වරාය ඉන්දියන් සාගරයේ බ්‍රිතාන්‍ය යුධ කටයුතු සඳහා උපායමාර්ගික වශයෙන් වැදගත් කඳවුරක් ලෙස 1948 වන තෙක් ම භාවිතා විය.

පළාත්

ලංකාව පළාත් 6

1845 ඔක්තෝබර් 1 දින විශේෂ ප්‍රකාශනයක් මගින් යළිත් ලංකාව පළාත් 6 ක් ලෙසින් බෙදා වෙන්කරන ලදී. මෙම කාලයේදී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වශයෙන් කටයුතු කරන ලද්දේ කැම්බල් මහතාය. ඔහුගේ නියමයෙන් පරිපාලනය සඳහා වෙන්කළ නව පළාත් හය මෙසේවිය. අංක 3 සිතියම මගින් එය විග්‍රහ කර ඇත. 1845 ඔක්තෝබර් විශේෂ ගැසට්පත මගින් වෙන්කළ පළාත් හය. 1. උතුරු පළාත - යාපනය, මන්නාරම, වන්නිය, නුවරකලාවිය. ඩෙල්µaට් දූපත. 2. දකුණු පළාත - ගාල්ල, මාතර, හම්බන්තොට, සබරගමුවේ යකාවේල්ල, හතරබාගේ. 3. නැගෙනහිර පළාත - ත්‍රිකුනාමලේ, මඩකලපුව, තමන්කඩුව, මැද පළාතට හසු නොවූ බින්තැන්නේ ඉතිරි කොටස්. 4. බස්නාහිර පළාත - කොළඹ, සතර කෝරළය, තුන් කෝරළය, දකුණු පළාතට අයත් නොවූ සබරගමුවේ ඉතිරි කොටස්, පාතබුලත්ගම. 5. වයඹ පළාත - හලාවත, පුත්තලම, හත්කෝරළය. 6. මැද පළාත - මහනුවර, යටිනුවර, උඩුනුවර, හාරිස්පත්තුව, තුම්පනේ, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම, වියලුව, ඌව දිසාවනිය, මාතලේ දිසාවනිය, උඩ පළාත දිසාවනිය, වළපනේ දිසාවනිය, යන ප්‍රදේශයන්ය. මෙම ප්‍රකාශනයෙන් ඉංග්‍රීසීන් දිස්ක්‍රික්ක මායිම්ද නියම කරන ලදී.

පළාත් හතක්

1873 දී පළාත් හතක් ලෙසින් ලංකාව බෙදා වෙන්කරන ලදී. මේ කාලයේ දී අපේ රටේ ඉංග්‍රීසි ආණ්ඩුකරු ලෙස කටයුතු කළේග්‍රැගරි මහතාය. අපේ සිංහල උදවිය ඔහුට කීවේ ගිරිගෝරිස් ආණ්ඩුකාරතතැන කියායි. 1873 සැප්තැම්බර් 6 දින දරන විශේෂ ප්‍රකාශ පත්‍රයෙන් බෙදා වෙන්කරන ලද පළාත් හත මෙසේ දැක්වේ. අංක 4 සිතියම. 1. උතුරු පළාත - යාපනය, මන්නාරම, වන්නිය ඩෙල්µaට් දූපත. 2. දකුණු පළාත - ගාල්ල, මාතර, හම්බන්තොට, සබරගමුවේ යකාවේල්ල, හතරබාගේ. 3. නැගෙනහිර පළාත - ත්‍රිකුණාමලය, මඩකලපුව, මධ්‍යම පළාතට ඇතුළත් නොවූ බින්තැන්නේ කොටස්. 4. බස්නාහිර පළාත - කොළඹ, සතර කෝරළය, තුන්කෝරළය, දකුණු පළාතට අයිති නොවූ සබරගමුවේ ඉතිරි කොටස්, පාත බුලත්ගම. 5. වයඹ පළාත - හලාවත, පුත්තලම, දෙමළ හත්පත්තුව, ඇතුළත් නොවූ හත්කෝරළය. 6. මැද පළාත - මහනුවර, යටිනුවර, උඩුනුවර, හාරිස්පත්තුව, තුම්පනේ, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම, වෙල්ලස්ස, වියලුව, ඌව, මාතලේ, උඩපළාත, වලපනේ, බින්තැන්නට ඇතුළත් වෑගම්පහ, කොළවක් ගම්පහ, මෙයන්වැල්ල, මහවැලිගඟේ වම් ඉවුර බද බින්තැන්නේ කොටස්. 7. උතුරු මැද පළාත - නුවරකලාවිය, තමන්කඩුව, සත්කෝරළයේ දෙමළ හත්පත්තුව. මෙම විශේෂ පත්‍රිකාව මගින් බෙදූ පළාත් හතේ බෙදීමට උතුරුමැද පළාත යනුවෙන් අලුත් පළාතක් නිර්මාණය වූයේ වයඹින් හා උතුරින් ද කොටස්එකතු කිරීමෙන්ය. නමුත් මෙම පළාත් හතේ පාලනයද වසර කීපයකින් අවසන් විය.

පළාත් අටක්

1886 දී යළිත් ඌව යනුවෙන් පළාතක් බෙදා වෙන්කර පළාත් අටක් වශයෙන් පාලනය කෙරිණි. වර්ෂ 1886 පෙබරවාරි මස 1 වැනි දින විශේෂ ප්‍රකාශනයක් මගින් මෙම වෙන්කිරීම සිදුකරන ලදී. මෙම බෙදීම සිදුකරන ලද්දේ ගෝර්ඩන් ආණ්ඩුකරුට පෙර සිටි ලොංග්ඩන් ආණ්ඩුකරුගේ කාලයේ දීය. ඔහු සිවිල් පරිපාලන ක්‍රමය බොහෝසේවිමධ්‍ය ගත කළ අයකු සේසැලැකේ. එසේම ඔහුගේ කාලයේ මංමාවත් ඉදිවීමද දියුණු විය. අලුතින් ඇතිකළ ඌව පළාත පුරාණ මැද පළාතට අයත් නොවූ කොටස්එකතුකර නිර්මාණය කරන ලදී. මෙසේනිර්මාණය කරන ලද පළාත් අටේ පාලනය සිදුවූයේ ද වසර කීපයක් පමණි.

පළාත් 9

1889 ජනවාරි 1 දින විශේෂ ප්‍රකාශයක් මගින් 1873 දී වෙන්කළ බස්නාහිර පළාත කොටස්කර එක්කොටසක් බස්නාහිර පළාත කියාද අනෙක් කොටස සබරගමු පළාත කියාද කොටස්කර පළාත් 9 ක් වනසේබෙදන ලදී. අංක 6 සිතියම. මෙම පළාත් නවයේ බෙදීම ක්‍රියාත්මක කිරීමට මුල්වූයේ එවක සිටි ගෝඩන් ආණ්ඩුකාරවරයාය. යළිත් 1898 නොවැම්බර් මාසයේ විශේෂ පත්‍රිකාවක් මගින් උතුරුකරයේ තුනුත්කෙත පත්තුව යාපනේ දිස්ත්‍රික්කයට එකතු කරන ලදී.

1815 දී ලංකාවේ පාලනය ඉංග්‍රීසීන් අතට ගියපසු පාලනතන්ත්‍රය දිස්ත්‍රික මට්ටමින් විමධ්‍යගත කර දිසාපතිවරු හා ආදායම් පාලකවරු මගින් සිවිල් පාලනයක් ගෙන ගියේය. එය අපේ රටේ තිබූ පැරණි ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් ඉවත් කිරීමකි. එදා තිබූ රාජකාරි ක්‍රමය මඟින් සිංහල රදළ පිරිස් නොයෙක් මුලාදැනි තනතුරු දරන ලද්දේ කෝරළ පත්තු හා දිශා පාලන ක්‍රම තුළය. ඉංග්‍රීසීන් 1815 උඩරට ගිවිසුම මගින් උපක්‍රමශීලීව මෙම තනතුරු නැතිකර ඔවුන්ගේ හමුදා නිලධාරීන් පාලන කාර්යයට සහභාගි කරවන ලද්දේ මෙවැනි පළාත් බෙදීම ආදී ක්‍රමෝපායයන් තුළය.

පත්තු හා කෝරල මෙන්ම ගම්වල ද සීමා සැකසුනේ ස්‌වාභාවික ජල මාර්ග, වන බිම්, කඳුගැට, වැව්, විල් හා ඇළවේලි පදනම් කරගෙනය.

1818 හා 1848 මහා අරගල ඇතිවූයේත් පසුව 1948 දක්වා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන් ඇතිවූයේත් මේ ක්‍රියාවන්හි ප්‍රතිඵල ලෙසින්ය. අදත් අපි ඒ ක්‍රම තුළම අනුගත වී සිටිමු.

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් විය. අනතුරුව 1978 දී රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු ලැබූ අතර එමඟින් විධායක ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා බවට විය. 1971 හා 1987 කැරැලි වලට අමතර ව 1983 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ආරම්භ වූ අතර වසර 25 ක් පුරා පැවති එය 2009 වසරේ දී අවසන් විය.

වර්තමාන ලංකාවේ පළාත් සහ දිස්ත්‍රික්ක පහත සඳහන් වේ.

දැනට පවතින පළාත් සභා 9 “රුහුණු, පිහිටි, මායා” නමින් 3ට අඩුකරන යෝජනාවක්..! අතීත පාලන ක්‍රමවේදය ලාංකීය ජනතාවගේ දියුණුව සඳහා විශාල ම වශයෙන් දායක වූ බව සඳහන් වේ. මෙම ක්‍රමවේදය හදාරා ඒ අඩු අඩුපාඩුකම් සකස් කොට නැවත පුනර්ජීවනයක් ලබා දීමට හැකි නම් එය රටට සෙතක් වෙනවා නොඅනුමානය.

(අන්තර්ජාලය ඇසුරෙනි.)

Leave a comment

Translate »